Sunday, October 7, 2012

පන්සිල්

පානාතිපාතා වේරමණි සික්ඛාපදං සමාදියාමි
අදින්නාදානා වේරමණි සික්ඛාපදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාරා වේරමණි සික්ඛාපදං සමාදියාමි
මුසාවාදා වේරමණි සික්ඛාපදං සමාදියාමි
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණි සික්ඛාපදං සමාදියාමි

බෞද්ධයා සිල් රැකිය යුතුමද? ඉහත දැක්වෙන සිල් පද 5 රැකීමෙන් බෞද්ධයාට ඇති වාසිය, ප්‍රයෝජනය කුමක්ද? ඉහත සිල් පද නොරක්නා පුද්ගලයා හට නිවන් දැකිය නොහැකිද?

මේ කාලයේ ජීවත් වන බොහෝ බෞද්ධයන් සම්ප්‍රදායක් ලෙස පංච සීලය සමාදන් වන නමුදු, සිල් සමාදන් වන්නේ කුමක් සඳහාද යන්න පිළිබඳව හරි හැටි අවබෝධයක්  තිබේද යන්න සැක සහිතය. බොහෝ දෙනෙක් සීලය තුළින් බලාපොරොත්තු වන්නේ මෙලොව ජීවිතය සැපවත් කර ගැනීමත්, පරලොව ජීවිතය සුගතිගාමී කර ගැනීමටත් විය යුතුය. නමුත් සැබෑ ලෙසම පුද්ගලයෙකු සිල් රැකිය යුත්තේ කරුණු තුනකින් අත්මිදීම සඳහාය.

උපන් සත්වයාගේ සිත කාරණා තුණකින් දූෂිතව පවතින බව බුදුරජාණන් වහන්සේ දේශණා කරන ලදී. එනම් රාගය, ද්වේශය හා මෝහය යන කරුණු තුනයි. උපන්නාවූ සියලු සත්වයන් මේ ආකාර වෙයි. බෞද්ධයෙකු වුවත් වෙනත් ඉගැන්වීමක් සරණ කරගත් පුද්ගලයෙකුට වුවත් මේ තත්වය එසේමය. සීලය ආරක්ෂා කිරීමෙන් අප බලාපොරොත්තු වන්නේ මේ කරුණු තුනෙන් දූෂිත වූ සිත ඉන් මුදවා ගැනීමයි.

පළමු ශික්ෂා පදය මඟින් සත්ව ඝාතනයට මිනිසා පෙළබීම වලක්වයි. කුමන ආකාරයේ ඝාතනයකට වුවද ද්වේශ සිත මුල්වන බව පැහැදිලි කරුණකි. යමෙකු කෙරෙහි ඇතිවන ද්වේශ සහගත සිතින් කල හැකි වඩාත් දරුණුතම දෙය එම පුද්ගලයා හෝ සත්වයා මරා දැමීමයි. පළමු සිල් පදය රැකීමෙන් සිත ද්වේශයෙන් මුදවා ගැනීම සඳහා පළමු පියවර තබයි.

මේ ආකාරයෙන් දෙවන හා තෙවන සිල් පද ආරක්ෂා කිරීම තුළින් රාගයෙන් සිත මුදා ගැනීමත්, සිව්වන හා පස්වන සිල් පද ආරක්ෂා කිරීමෙන් මෝහයෙන් සිත මුදවා ගැනීමත් සිදුවේ. වඩාත් සියුම්ව සළකා බලන කල එක් එක් සිල්පදය ආරක්ෂා කිරීම රාග, ද්වේශ, මෝහ යන තුන් ආකාරයෙන්ම සිත මුදවා ගැනීමට උපකාර වෙයි.

සෝතාපන්න (සෝවාන්) පුද්ගලයා පෘතග්ජන පුද්ගලයාගෙන් වෙනස් වන්නේ ඔහු තුළ සක්කාය දිට්ඨියත්, සීලබ්බතපරාමාසත්, විචිකිච්ඡාවත් ප්‍රහාණය වීමෙනි. මෙහිදී සීලබ්බත පරාමාසය යනු නිවන් පිණිස හේතු නොවන්නාවූ ඕනෑම ආකාරයක සම්බාධකයක් (සීල ව්‍රත) තමා විසින් තමාටම පණවා ගැනීමයි.

ඉතින් යම් සීලයක් නිවන් මඟට උපකාර වේද, ඒ ආකාර සීලය සමාදන් වීමත්, ආරක්ෂා කිරීමත් වැදගත් වෙයි. එය ආර්යය සීලයක් නම් වෙයි. කොතරම් උනන්දුවෙන් ආරක්ෂා කලත් එමඟින් රාග, ද්වේශ, මෝහ දුරු නොවේ නම් ඒ ආකාර සිල් සමාදන් වීම සීලබ්බත් පරාමාස නම් වෙයි.

Wednesday, September 26, 2012

මම

මම සහ මගේ සියලුම දේවල් මගේ උපතත් සමඟම ඇති විය. උපතත් සමඟ ඇති වූ මා සහ මා හට අයත් සියලුම දේ වෙනස් වී යන විටත්, මා ලෙඩට දුකට පත්වන විටත්, මා වයසට යන විටත් ඒ වරද ලෙඩ රෝග මතත්, කාලය මතත් පටවා ඇඟ බේරා ගත්තෙමි. මා හට අයත් දේ වෙනස් වී යන විටත්, අනිත්‍ය වී යන විටත් මම තව තවත් මගේ කර ගත හැකි දේවල් සොයමින් කාලය ගත කළෙමි.

නමුත් දැන් මා හෝ මගේ කියා යමක් නැති බව පසක් කර ගැනීමට කාලය පැමිණ තිබේ.

“වයධම්මා සංඛාරා - අප්පමාදේන සම්පාදේථ“ - යනුවෙන් බුදුහු වදාළ සේක.